ads

ඩිල්ෂාන් - සංගා වසරේ එක්දින පිලට

ඩිල්ෂාන් - සංගා වසරේ එක්දින පිලට
03 DECEMBER 2015 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර දෙදෙනාම ඇතුළත් වී සිටිති. කෙසේ වෙතත් වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ක‍්‍රීඩකයකු ඇතුළත්ව නැත.

ඒ. බී. ඩිවිලියර්ස්ගේ නායකත්වයෙන් යුත් ලෝක එක්දින පිලට කුමාර් සංගක්කාර ඇතුළත්ව සිටින්නේ කඩුලූ රකින්නා ලෙසය. මෙම වසර තුළදී ශතක 5 ක් ද සමගින් එක්දින තරග 14 කදී ලකුණු 862 ක් ලබාගත් කුමාර් සංගක්කාර වසර මුලදී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ පැවැති ලෝක කුසලන තරගාවලියෙන් පසුව එක්දින තරග බිමෙන් සමුගත්තේය. සංගක්කාර ලෝක කුසලාන තරගාවලියෙන් සමුගත්තේ වසර 40 ක ලෝක කුසලාන ඉතිහාසයේදී පිට පිටම තරග 4 කදී ශතක 4 ක් ලබාගත් පළමු පිතිකරුවා ලෙසින් වාර්තාපොතට එක්වෙමිනි.


ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම තරග 4 කදී බංග්ලාදේශයට (මෙල්බර්න්හිදී), එංගලන්තයට (වෙලින්ටන්හිදී),  ඕස්ටේ‍්‍රලියාවට (සිඞ්නිහිදී) සහ ස්කොට්ලන්තයට (හොබාර්ට්හිදී) එරෙහිව ශතක ලබාගැනීමට සංගක්කාර සමත් විය.


ගෙවී යන 2015 වසරේදී එක්දින තරග 22 කට සහභාගි වූ තිලකරත්න ඩිල්ෂාන් ශතක 4 ක් ද සමගින් ලකුණු 1100 ක් ලබාගත්තේ එක්දින තරගයකදී සිය හොඳම ඉනිම (බංග්ලාදේශයට එරෙහිව මෙල්බර්න් නුවරදී  නොදැවී 161) ද වාර්තා කරමිනි.


බංග්ලාදේශ ක‍්‍රීඩකයකු පළමුවරට ලෝක එක්දින පිලට ඇතුළත්ව සිටීම කැපී පෙනේ. වමතින් වේගපන්දු යවන 20 හැවිරිදි බංග්ලාදේශයේ මුස්ටිෆිසුර් රහමන් ලෝක එක්දින පිලට ඇතුළත් වී තිබේ.  බංග්ලාදේශයේ සකීබ් අල් හසන් 2009 වසරේ ප‍්‍රකාශයට පත් කෙරුණු ලෝක ටෙස්ට් පිලට ඇතුළත්ව සිටියේය.


එංගලන්ත ක‍්‍රීඩක ඇලිස්ටෙයාර් කුක්ගේ නායකත්වයෙන් යුත් 2015 ලෝක ටෙස්ට් පිලට  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, පාකිස්තානය සහ නවසීලන්තය යන රටවලින් ක‍්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති. ඉන්දියාවෙන් රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් පිලේ 12 වැනි ක‍්‍රීඩකයාට ඇතුළත්ව සිටී.


අනිල් කුම්බල්, ඉයන් බිෂොප් සහ මාක් බුචර් යන හිටපු ටෙස්ට් ටෙස්ට් ක‍්‍රීඩකයෝද, හිටපු කී‍්‍රඩිකාවක වන බෙලින්ඩා ක්ලාක් සහ ඉන්දියාවේ ‘ද හින්දු’ සහ ‘ස්පෝට්ස් ස්ටාර්’ නියෝජ්‍ය කර්තෘ ජී. විශ්වනාත් ඇතුළත් කමිටුවක් මගින් මෙම තේරීම් කර තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මස 18 වැනිදා සිට මෙම වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා පැවැති ටෙස්ට් සහ එක්දින තරගවලදී ක‍්‍රීඩකයන් දක්වා ඇති දස්කම් සලකා බලා කණ්ඩායම් නම්කර ඇත.


”ක‍්‍රීඩකයන් එක් එක් කාලවලදී දක්වන දස්කම්වලට පිළිගැනීමක් ලැබීම ඔවුන්ගේ ජයග‍්‍රහණයක්. මාස 12 ක කාල වකවානුවකදී විශාල සංචිතයකින් කණ්ඩායමකට ක‍්‍රීඩකයන් තෝරා ගැනීම මහත් වෙහෙසකර වු කාර්යභාරයක්” යයි තේරීම් කමිටුවේ සභාපති අනිල් කුම්බල් මහතා පවසයි.


අන්තර්ජාතික වශයෙන් එක්දින සහ ටෙස්ට් තරගවල දැඩි තරගකාරීත්වයක් ද, ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය ඇතුඵ ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් වු තරග පැවැති නිසා කාර්යබහුල වසරක් වු බව ද කුම්බල් මහතා පෙන්වාදෙයි.


ලෝක ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම:
ඇලිස්ටෙයාර් කුක් (නායක), ඬේවිඞ් වෝනර්, කේන් විලියම්සන්, යුනිස් ඛාන්, ස්ටීවන් ස්මිත්, ජෝ රූට්, සර්ෆ‍්‍රාස් අහ්මඞ් (කඩුලූ රකින්නා), ස්ටුවර්ට් බ්‍රෝඞ්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, යසීර් ෂා, ජෝෂ් හේසල්වුඞ් සහ රවිචන්ද්‍ර අශ්වින් (12 වැනි කි‍්‍රඩකයා)


ලෝක එක්දින ක‍්‍රිකට් කණ්ඩායම:
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, හසීම් අම්ලා, කුමාර් සංගක්කාර (කඩුලූ රකින්නා), ස්ටීවන් ස්මිත්, රොස් ටේලර්, ටෙ‍්‍රන්ට් බෝල්ට්, මොහොමඞ් සමී, මිචෙල් ස්ටාක්, මුස්ටෆිසුර් රහමන්, ඉම්රාන් තහීර් සහ ජෝ රූට් (12 වැනි කී‍්‍රඩකයා)

0 comments :

Post a Comment